දකුණෙන් එතෙරට

මෑතදී නිදහස ලැබූ ගෝනියාවේ කළ සමාජ විද්‍යා අධ්යනයකදී එකතුකරනලද සටහනනුයි මේ පොතේ ලියවී ඇත්තේ. මා ගෝනියාවේ ගෙවූ කාලයේ දිනපතා නිරතවූ වැඩකටයුතු දිනපොතක් සේ නොලියා වැදගත් සිද්ධි/අවස්ථා කිහිපයක් පමනක් ලිවීමට මම තීරණය ගත්තේ අවසාන වාර්තාව රචනා කරන දිනවලදීයි. කිසිදාක සමාජ විද්‍යාව හදාරා නොමැති මගේ උත්සාහයේ වටිනාකම තක්සේරු කිරීම ඔබටම බාරයි.

[මෙහි ලියවී ඇති විස්තරයේ අගත් මුලත් අතර පිරවී ඇති වචන ගොනුවේ පැහැදිලි පිළිවෙළක් / තේමාවක් සොයාගත නොහැකිනම් ඒ මෙහි එවැනි පිළිවෙළක් / තේමාවක් නැති නිසා වියහැකි බව කරුණාවෙන් සලකන්න]

කතාවේ පසුබිම මෙසේයි.

මාර්ටින් වික්රමසිංහගේ ‘මඩොල් දූව’ මා කියවූ පළමු ‘ලොකු’ පොතයි. මගෙ එදිනෙදා ජීවිතේට ඒ පොත කොයිතරම් බලපෑවද කියා මට කිව නොහැකියි. නමුත් මොඩොල් දූව කියවූ දවසේ පටන් මගේ ලෝකය ඒ පොතේ ලියවී ඇති දේ අනුව වෙනස් කරන්න මම නොහිතාම උත්සාහ කළා.

කිසිදාක මුහුදුබඩ පලාතක් දැක නොතිබූ මම මේ අළුත් ලෝකය හිතේ මවාගත්තේ මගේ පරිසරයත් අත්දැකීමුත් මතුපිටයි. ඒ අනුව, මුහුදු වෙරල ගේ මිදුලේ කොනත් මුහුද ගේ පහල ඇලත් අඩුවක් නැතුව මගේ ඕනෑකම් සපුරන්න සමත්වුනා. පොල්ගස් අතරේ අම්බලමක් නැතිවුනාට අපෙ උඩහ කුඹුර ලඟ පැලක් තිබුනා. කුරුම්බා කඩන්න ජින්නා කෙනෙක් හිටියෙ නැතත් සමහරවිට අපෙ ගෙදර වැඩට හිටපු ටික්කා පැල ලඟ ගහෙන් කුරුම්බා කැඩුවා, සෙල්ලමට සිරිපාලලා, රණදේවලා, දඟදාසලා නොහිටියා පමනක් නෙවෙයි රණදේව හෝ දඟදාස වගේ නම් මම කවදාවත් අහලා තිබුනෙත් නෑ. ඒ අය වෙනුවට මට හිටියේ පුංචි අයියා විතරයි - ඒ නිසා වෙන්න ඇති අපි කරන සෙල්ලම් මොනවද කියලා තීරණය කිරීම මට අයිති නොවුනේ.

මගෙ නමත් උපාලී වුනාට උපාලී ගිනිවැල්ලට වගේ මට කුඩම්මා කෙනෙක් හිටියෙ නෑ. වැඩිහිටියෙක් වශයෙන්වත් මම තවම බෝට්ටුවක මුහුදු ගිහින් නෑ. ඒ වගේම මුහුදේ පිහිනන්න මම තවම බයයි.

මේ වගේ වෙනස්කම් බොහොමයක අයිතිකාරයා වුනත් මගේ වැඩිහිටි හිත දකුණ වෙත තදින්ම ඇදී ගියා. වැල්ලේ වාඩිවෙලා මුහුද දිහා පැය ගනනක් උනත් බලාගන ඉන්න මට පුළුවන්; බලමාළුත් එක්ක පොල් රොටී ඕන වේලකට කෑ හැකියි; දකුණේ කථා විලාශය හොඳටම පුරුදුයි. මම ළංකාවේ දකුණේ සිරිත් විරිත් ගැන ලියූ පොතක් නිසාමයි මට ලාංකිකයෙකුට සාමාන්යෙන් නොලැබෙන සුවිශේෂී අත්දැකීම් ගොන්නකට සහබාගීවෙන්න අවස්තාව ලැබුවේ.

……………………………..

ගාල්ලේ වක්වැල්ල පාරේ මගේ යාළු බන්දුගෙ ගෙදර උදේ තේ බොන වෙලාවේ මට ටෙලිෆෝන් ඇමතුමක් ආවේ මම පුද්ගලිකව නොහඳුනන විශ්වවිද්යාල ගුරුවරයෙකුගෙන්.

“හලෝ… මේ… මේ උපාලී ජයවර්දනද? අර ‘දකුණ බලා’ ලියපු උපාලී ජයවර්දන?”

“ඔවු… මේ කවුද කතා කරන්නේ?”

“මම කොළඹ විශ්වවිද්යාලේ සැම්සන් සොයිසා… මිස්ට ජයවර්දනගෙ පොත මම කීප සැරයක් කියෙව්වා. ඒක ගැන විග්රහයකුත් ලිව්වා පත්තරේට… මං ප්රශ්නයක් ඇහුවට කමක් නැද්ද?”

“මං දැක්කා විග්රහය… ඔබතුමා කියපු තරම් මගෙ පොත හොඳයි කියලා මම හිතුවෙ නෑ! තෑන්ක්යූ… මොකද්ද අහන්න ඕන කිව්වේ?”

“…. ටිකක් දිග කතාවක්… මුණ ගැසිලා දිගට සාකච්චා කරන්න වටින එකක් … පළමුව අහන්න ඕන ප්රශ්නේ මේකයි - මිස්ට ජයවර්දන දකුණේ කරා වගේ ප්රොජෙක්ට් එකක් කරන්න කැමතිද පිට රටක?”

“හෝව්….හෝව්…පොඩ්ඩක් හෙමින් යමු….මට ඊට වඩා ඩීටේල්ස් ඕන කැමතිද නැද්ද කියන්න”

“ඒකයි මුණ ගැසෙන්න වටිනවා කිව්වේ… මිස්ට ජයවර්දන දැන් කොහෙද? මහනුවරද?”

“මම ගාල්ලේ - තව දවස් කීපයක් ඉන්නයි අදහස”

“අද දවල් මං ගාල්ලේ ආවොත් හමුවෙන්න වෙලාවක් තියෙයිද?”

“ලොකු හදිස්සියක් වගේ… මට පුළුවන් කොටුවේ හෝටලේකට එන්න, ඕනනම් දවල් දොලහට විතර”

“…එකට ආවට කමක් නැද්ද? මම බස් එකේ එන්නේ කොළඹ ඉඳන්. ඕන ඩොකියුමන්ට්ස් එහෙම එකතුකරගෙන මම එකට එනවා… ටවුමට කිට්ටුවෙනකොට මේ නොම්බරේට කෝල් එකක් දෙන්නම් මුණගැසෙන තැන අහගන්න”

සැම්සන් සොයිසගෙ කෝල් එක ඉවරවෙලා මම විනාඩියක් විතර කතා නොකර හිටියා. බන්දු තේ කෝප්පේ මා ලඟට තල්ලුකලේ කෙලින්ම මගේ මුහුන දිහා බලාගෙනයි.

“මොකෝ බං කරදරයක්ද?”

“නෑ මචං… කොළඹ යුනිවසිටි පොරක් අහනවා මොනවද ප්රොජෙක්ට් එකක් කරන්න කැමතිද කියලා!”

“මොකද්ද? මොන වගේ එකක්ද?”

“කිසි දෙයක් දන්නෙ නෑ තවම, දවල් එකට පොර එනවා කොටුවට. එතකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ!”

“ගුඩ් නෝ! ඕන නම් කාරෙක අරගෙන පලයන්!”

…………………………..

“ඩොක්ට සැම්සන් සොයිසා?”

“ඔවු, මිස්ට ජයවර්දන… තැන්ක්යූ මාව හමුවෙනවට”

“උපාලී… ප්ලීස්. අපි ටුක් ටුක් එකක් ඇරගෙන කොටුවට යමු මොනවත් කන්න බොන්න. වාඩිවෙලා බැරියෑ කතා කරන්න”

“ඒක හොඳයි. මම සැම්සන්, නැතිනම් සෑම්. මොනවත් කන බොන එක හොඳයි - මාර තිබහක් තියෙන්නේ, බස් එකේ ඇවිත්!”

අපි ගාලු කොටුවේ මං දන්න හෝටලයක උඩ තට්ටුවේ වාඩිවෙලා මුහුද දිහා බලාගෙන පලවෙනි බීර උගුර බීලයි කතාවට බැස්සේ.

“දැන් මොකද්ද ඔය ප්රොජෙක්ට් එක, ඩොක් .. අ.. සෑම්?”

“කෙටියෙන් කිව්වොත් උපාලී මේක කලාතුරකින් ලැබෙන චාන්ස් එකක්. අපිට සෑහෙන්න විශාල ග්රාන්ට් එකක් ලැබිලා තියෙනවා ලඟදී නිදහස ලැබුන රටක සමාජය හදාරන්න… අපිට සම්පූර්න නිදහස තියෙනවා ගවේෂණය යන්නේ කොයි විදිහටද කියලා… ඒ කියන්නේ මාස හයක් ඇතුලත අපේ හැකියාව පෙන්වූවොත්, ප්රොජෙක්ට් එක අවුරුදු කීපයක් දුවන්න ෆන්ඩ්ස් තියෙනවා…”

“ඔය කියන්නේ ගෝනියාව ගැනද?”

“හරියටම හරි… යටත් විජිතයක් හැටියට අවුරුදු හාරසීයක් ඉඳලා ගිය අවුරුද්දේ නිදහස ලැබුවේ … ප්රොජෙක්ට් එකට ඒක එක වැදගත් හේතුවක්. අනික, ගෝනියාවේ ශිෂ්ටාචාරය බොහොම පැරණියි, බොහොම බලවත්. අධිරාජ්ය බලවේගවලින් නැතිකරන්න බැරි තරමට බලවත්…”

“හ්ම්… හිතාගන්න පුළුවන් රිසර්ච් එකේ වටිනාකම… නමුත් මට දැනගන්න ඕන කාරණා දෙකයි - ඇයි මම? ගෙවන්නේ කවුද?”

අපි හෝටලෙන් එලියට එනකොට හවස හතරයි - පැය තුනක් එතන ඉඳලා. මම සෑම් සොයිසා කොළඹ බස් එකට නග්ගලා අරවින්දගෙ ගෙදර පැත්තට ඇවිද්දේ, සෑම් දීපු ෆයිල් ගොන්නත් කිහිල්ලේ ගහගෙනයි.

“කොහොමද, වැඩේ හොඳට ගියාද?”

දරුවා රෑවෙලා ගෙදර එනතුරු ගේ ඉස්සරහ ඉස්තෝප්පුවේ පාර බලාසිටි දෙමව්පියෙක් වගේ බන්දු මගෙන් ඒ ප්රශ්නේ ඇහුවේ.

“බලන්න ඕන…වැඩේ ඉන්ටරස්ටිං - වෙරි ඉන්ටරස්ටිං. බලන්න ඕනෑ මේ ෆයිල් ටික කියවලා ඉවරවෙලා වටිනවද නැද්ද කියලා. කරන්න නම් ආසයි මචං හැබැයි ඉස්සර වගේ හිතුන හිතුන වෙලාවට එහෙමෙහෙ දුවන්න බෑ නේ. අද රෑ මේ ටික කියවලා, වැඩේ බාරගන්නවානම් හෙට නුවර ගිහින් අයියටත් කියලා කොළඹ එනවා සෑම් සොයිසා එක්ක ඩීටේල්ස් කතා කරගන්න. බාරගන්නෙ නැත්තම් හෙටම සෑම්ට ෆෝන් කරලා කියනවා - අනිද්දා කොළඹ ගිහින් ෆයිල් රිටර්න් කරනවා”

“යනවානම් කවද්ද යන්න වෙන්නේ?”

“මං හිතන්නේ සතියකින් දෙකකින්”

“බාරගත්තෙ නැත්තම් මොකද කරන්නේ?”

“… තවම හරියට දන්නෙ නෑ - මං හිතුවේ නුවර ගිහින් සතියක් විතර නිදාගන්න!”

“උඹ ගියාම ඩ්රින්ක් එකක්වත් දාන්න කවුරුත් නෑ මෙහෙ - මාත් යනවා බං කොළඹ හෙට අනිද්දා, දුවලගෙ ගෙදර. වරෙන් එහෙ පුළුවන් උනොත් රට යන්න ඉස්සර”

“මං නුවරින් කෝල් එකක් දෙන්නන්කෝ”

බන්දු ටිකක් කල්පනා කලා.

“උඹ කොහොමද ගෝනියාවට ගෑවෙන්නේ? මං දැනගෙන හිටියෙ නෑ උඹ ගෝනියා එක්ස්පර්ට් කෙනෙක් කියලා!”

මට හිනා ගියා.

“එක්ස්පර්ට්? මචං මම ගෝනියාව ගැන බම්බුවක්වත් දන්නෙ නෑ. අර ගිය අවුරුද්දේ නිදහස ලැබුනා කියලා පත්තරේ දැක්කා ඇරුනුකොට. ආදි කාලේ ළංකාවත් එක්ක වෙලඳ ගනුදෙනු කළා කියලත් එහෙ මිනිස්සු පෙනුමෙන් අපි වගේ කියලත් දැනගත්තේ ඒ පත්තරෙන්මයි - ආසාවට පොත පත කියවලා නෙවෙයි!”

“එහෙනං මොකද උං උඹට කතාකළේ? උං කොහොමද උඹ ගැන දන්නේ?”

“නෑ මචං මේක මට ආවේ කොළඹ යුනිවර්සිටියෙන් - කෙලින්ම ගෝනියාවෙන් නෙවෙයි. අර සෑම් සොයිසා කිව්වේ මගෙ ‘දකුණ බලා’ පොත - අර වැඩි හරියක් උඹෙ, මේ ගෙදර ඉඳන් ලියපු පොත, දැකලා ඒ වගේම ගෝනියාවේ සිරිත් විරිත් ගැන සොයලා බලන්න කියලා. මිනිහා මගෙ පොත ගැන පත්තරේටත් ලියලා තිබුනා; මාව පුද්ගලිකව හඳුනන්නේ නැති මෝඩ පොරට හිතිලා මම දක්ශයෙක් කියලා! කොහොම හරි, මේ ග්රාන්ට් සල්ලි වලින් මා ලව්වා මුල වැඩ ටික කරගන්න වගේ මිනිහගෙ අදහස”

“කොච්චර කාලයක් යයිද? මට මතකයි මෙහෙ පොත ලියපු කාලේ උඹෙ කාලසටහන - එහෙත් යාළුවෝ හම්බවෙයිද දවල් නිදාගෙන රෑට බොන්නයි කයිවාරු ගහන්නයි ලියන්නයි?”

“හොයාගන්න වෙනවා ගිහිල්ලා…. මචං ජගත්ලට එහෙම තැන්ක්යූ කිව්වා කියපන් කරපු උදව් වලට - උඹෙ පවුලේ අයට පිං දීපන් මාව බලාගත්තට; කොළඹදී හමුවෙන්න බැරිවුනොත්”

…………………………

ගාල්ලේදී සෑම් සොයිසා හමුවී සති තුනකින් මම ලංකාවෙන් පිටත්වුනේ කුඩා ගුවන් යානයක පැය කිහිපයක ගමනට ලෑස්තියෙන්. ආගමන විගමන, රේගු වැනි කටයුතු කිසිදු කරදරයක් නැතුව කාර්යක්ෂම ලෙස සිදුවූ නිසා මම ගෝනියාවේ ගෝනිපුර ගුවන් තොටුපලෙන් එලියට ආවේ සතුටු සිතකින්. මගේ නම සහිත පුවරුවක් අල්ලාගෙන සිටි තරුණයා ලඟට මම ගියේ දකුණත ඉදිරියට දමා “හලෝ” කියමින්.

“ආයුබෝවන්! …. මම විශ්වවිද්යාල ශිෂ්ය සංගමෙන් - මගෙ නම ‘අමී’, ගෝනියාවට ඔබතුමා ආදරයෙන් පිලිගන්නවා”

‘ආයුබෝවන්’ කියලා සිංහලෙන් කියලා එතැනින් පස්සේ අමී කතාකලේ ඉංග්රීසියෙන්. මම සතුටුවුනා මෙයා මා වෙනුවෙන් සිංහල වචනයක් හරි ඉගෙනීම ගැන. මම මේ අයගෙ භාශාවෙන් එක වචනයක්වත් ඉගෙනගෙන නෙවෙයි ආවේ - ඒ අයත් ඉංග්රීසි දන්න නිසා. මමත් කතාකලේ ඉංග්රීසියෙන්.

“ස්තුතියි අමී මාව හමුවෙන්න ආවට… මං ලෑස්තිවෙලා ආවේ බස් එකේ විශ්ව විද්යාලෙට යන්න හිතාගෙන…”

අමී මගෙ එක මල්ලකුත් අරගෙන ගියේ ටැක්සි තියෙන තැනකටවත් කාර් නවත්තන තැනකටවත් නෙවෙයි. විනාඩි දහයකින් විතර ආපු බස් එකක නැගලා අපි දෙන්නා විශ්වවිද්යාලෙට ගියා. පැය බාගේ ගමනේදී මම අමී දිහා පරීක්ෂාවෙන් බැලුවා.

පෙනුමෙන් අමී ලාංකිකයෙක් වගේ - උස මහත, හමේ සහ කොන්ඩේ පාට, ඉංග්රීසි බාශාව හැසිරවීම / වචන උච්චාරනය ලාංකිකයෙකුගෙ වගේමයි. අනික් අතට, පිට රටින් එන අමුත්තෙක් පිලිගන්න කාර් එකක්, අඩුම ගනනේ ටැක්සියක්, වත් පාවිච්චි නොවීම ගැන මම පුදුම වුනා. මෙවැනි චාරිත්රත් හැසිරීම් එකතුව මගේ පර්යේශනවල කොටසක් වන නිසා ඒ ගැන වැඩිය හිතුවෙනෑ - ඒ වෙලාවේ.

“අමීට කව්ද කිව්වේ මම අද එනවා කියලා?”

“ශිෂ්ය සංගමේ දැන්වීම් පුවරුවේ ගිය සතියේ දාල තිබුනා ලංකාවේ කෙනෙක් එනවා, එයා ගුවන් තොටුපලේදී පිලිගන්න කැමති කෙනෙක් ඉදිරියට එන්න කියලා - මමයි ඉස්සරවෙලාම ඒකට පිළිතුරු දුන්නේ. එ නිසා වැඩේ මම පිලිගත්තා”

“මම කරන්න බලාපොරොත්තුවෙන ගවේෂණ ගැන මොනවත් ඒ අය අමීට කිව්වද?”

“වැඩිය මොනවත් නෑ… මට කිව්වේ අමුත්තෙක් එනවා, එයා විශ්වවිද්යාලෙට එක්ක ඇවිත් නවතින්න ලෑස්ති කරලා තියෙන කාමරේ පෙන්වන්න කියලා. ඊට පස්සේ, කෑමට බීමට තැන් වගේම කඩ සාප්පු, ක්රීඩා පිටි වගේ දේ පෙන්නලා දෙන්න කියලා. ඒ ටික අද හවස් වෙනකොට කරන්න පුළුවන්. හවස උපාලිගෙ ගවේෂ්ණයට සම්බංද අය මුණ ගැසෙයි - රෑ කෑමටත් එක්ක”

මට නවතින්න ලැබිලා තිබුනේ ශිෂ්ය නිවාසයක උඩු මහලේ කාමරයකුයි. ජ්යෙෂ්ඨ ශිෂ්යයන්ට තනි තනියෙන් කාමරත්, පහත මහලේ නැවතී ඉන්න කණිෂ්ඨයන් දෙදෙනෙකුට කාමරය බැගිනුත් මේ ගොඩනැගිල්ලේ සිසුවෝ සීයකට වැඩිය ඉන්න බව අමී කිව්වා. විශාල භෝජන ශාලවකුත් පොදු කාමර දෙකකුත් තිබුනේ පහත මාලෙයි. පොදුකාමරවල කැරම් සහ දාන් පෙත්, පිංපොං මේස ඇරුනුකොට නිදහසේ පත්තර කියවීමට ආසනත් තිබුනා.

මට වෙන්වූ කාමරෙත් සැප පහසුකම් මට හොඳින්ම ප්රමාණවත්. ලොකු මේසයක් පුටුවක්, හොඳ ඇදක් වගේ දේ මෙන්ම කාමරේම මුහුන සේදීමට ටැප්, බේසම්, කන්නාඩි තිබීම මගෙ ඉමහත් සතුටට කාරණයක්. මගෙ හිතට හොඳටම ඇල්ලුවේ කාමරයට සම්බංදවූ කුඩා පුද්ගලික සඳලුතලයයි. මගෙ ගෙදරවත් මේ තරම් හොඳාකාරව සැලසී නොතිබූ බවයි මට හිතුනේ. පොදුවේ පාවිච්චිවන වැසිකිලි කාමරත් නාන කාමරත් සෝදිසිකර බැලුවේ අමී මගෙන් සමුගන්න ඉස්සරයි.

ශිෂ්ය නිවාසේ ලැබෙන කෑමට අමතරව අවශ්යතා සපුරන්න ආපනශාලා, කඩසාප්පු වැනි දේ තියෙන තැන් අමී මට සිතියමක පෙන්වා දුන්නේ ඔහුගේ වගකීමේ අවසාන ක්රියාව වශයෙන් බව මට දැනුනා.

“අමී මම ෆෝන් එකට ලෝකල් සිම් කාඩ් එකක් ගන්නේ කොහෙන්ද?”

“… විශ්වවිද්යාල කඩේ තියෙනවා, මම සිතියමේ පෙන්වපු… දැන් මහංසි නැත්නම් යමු - මමත් එහාට යන්නේ”

මම ආපහු මගෙ කාමරේට ආවේ ක්ශේත්ර පොත් වැනි ලිපිද්රව්යත්, විශ්වවිද්යාලයේ මෙන්ම නගරෙත් රටෙත් සිතියමුත්, තේ කෝපි වලට අවශ්ය දේත්, කුඩා කෑම බීම ටිකකුත් මල්ලක දමාගෙනයි. අමී සමග ආපනශාලාවේදී කෝපි කෝප්පයක් බිව්වත් දවාලට හරියට යමක් නොකෑ නිසා රටකජු වගේ දෙයක් කාමරේ තිබීම වටිනා බව මම දැක්කා. අළුත් සිම්කාඩ් දැමූ මෝබයිල් එකට අමීගේ ටෙලිෆෝන් නොම්බරේ ඇතුලත් කරන වෙලාවෙයි මට මතක්වුනේ ගෙදරට කතාකරලා කියන්න මම කරදරයක් නැතුව ආ බව. ඒ නිසාමයි මම අමීගෙන් සමුගෙන ආපහු කාමරේට ආවේ.

සවස හයට මගෙ කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා මම සඳලුතලේ වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිට ඇවිත් දොර ඇරියා.

“ආයුබෝවන්!”

මගෙ කාමරේ දොරලඟ සිටි මැදි වයසේ ගෝනියාවෝ දෙදෙනා මාත් එක්ක කට පුරා හිනාවුනා.

“… අ…. ආයුබෝවන්…?”

මම ආචාර කළේ ‘ඔබතුමාලා කවුද?’ කියලා අහනවා වගේ.

“අ.. කවුරුත් කිව්වෙ නැද්ද අපි එනවා කියලා?... හ්ම්… මම මහාචාර්ය බාරතී… මේ මගේ සහකාර ආචාර්ය චක්රනාම … අපි තමා… චක් තමා ඔබතුමාගෙ ගවේෂ්ණය කටයුතු ගෝනියාව පැත්තෙන් බලාගන්නේ”

මට ලජ්ජා හිතුනා මා හමුවෙලා ගවේෂ්ණය ගැන සාකච්චාවට කවුදෝ හවස එනබව අමී මට කියා තිබුනත් මට ඒක අමතකවීම.

“අනේ මට සමාවෙන්න… මාව මෙහාට එක්ක ආපු අමී මට කිව්වා, නමුත් ඒක අමතකවෙලා ගියා … මේ අළුත් රටකට ආපු කලබලේ අස්සේ… සමාවෙන්න… එන්න එන්න ඇතුලට. මම උපාලී…”

මහාචාර්ය බාරතී මට උත්තරදුන්නේ හිනා මුහුනින්.

“ඒකට මොකද… මම කෑම් … මෙයාට සේරම කතා කරන්නේ චක් කියලා… මං හිතුවේ අපි තුන්දෙනා ගිහින් මොකවත් කන ගමන් ගවේෂණ ගැන කතා කරමු කියලා